Thursday, November 24, 2016

ලෝක සාහිත්‍යට කවුලූවක් විවර කරදුන් අප‍්‍රමාණික මිනිසා



මිනිසුන් උපදියි. කවර හෝ ලෙසකින් ජීවිතය ගෙවා දමයි. අවසන මිය යයි. මෙය ලෝකයේ සියලූම මනුෂ්‍යන්ට පොදු කරුණකි. සමහර මිනිසුන් ජීවත්ව ඉන්නා කාලයේ ද ජීවිතය ගෙවන්නේ මියගිය වුන් සේ ය. සමහරු මිය ගිය පසු ටික කලෙකින් ජීවත්ව සිටින්නවුන්ට අමතකව යයි. නමුත් අතලොස්සක් දෙනෙක් මිය ගිය ද ඔවුන්ගේ නාමය සදාකාලිකව ජීවත්ව සිටින්නවුන්ගේ මතකයේ රඳවා යයි. ඔවුන් සදානුස්මරණීය චරිත බවට පත්වෙයි. මේ කතාවද එවන් සුපසන් මිනිසෙක් පිළිබඳව ය. පසුගිය දිනෙක ඔහු ද සුවහසක් මිනිසුන්ගේ සිත තුළ නොමැකෙන මතකයක් රඳවා යළි නො එන ගමන් ගියේය. එහෙත් ඔහුගේ මතකය පරපුරින් පරපුරට අමරණීය ලෙසින් යාත‍්‍රා කරන බව නම් නොරහසකි. ඔහුගේ සාහිත්‍යයික සේවාව අදත් හෙටත් පමණක් නොව මතු උපදින දරුවාටත් ජීවිතයට අලෝකය ලබන්නට කවුලූවක් විවරකර තබන බව නම් නිසැකය.

හේ නමින් සිරිල් සී. පෙරේරාය. 1923 ජූනි මස 03 වෙනිදාවක කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් කලූබෝවිල ග‍්‍රාමයේ උපන් ඔහුගේ පියා ගල්හේනගේ සයිමන් පෙරේරා වූ අතර මව මිල්ලෙනියේ ජොසලින් පීරිස් නම් විය. කුඩා සිරිල් ඉපදීමට මත්තෙන් කලක් ඔහුගේ පියා ‘සරසවි සඳරැුස’ පුවත්පතේ ද සේවය කර ඇතැයි සැලකෙන අතර ඔහු සිංහල හා ඉංග‍්‍රීසි යන ද්වී භාෂා පිළිබඳ ව පුලූල් බුද්ධිමතෙක් ද වී ඇත. පුංචි සංදියේ දී එදා නාගහ හංදිය ලෙසින් සැලකූ අද බොරලැස්ගමුව හංදිය ලෙසින් සැලකෙන ස්ථානයේ පිහිටි කාසිම්ගේ කඩයෙන් ගල් ලෑල්ලක් හා සිංහල හෝඩි පොතකුත් රැුගෙන රත්තන පිටියේ විදුහලින් ඔහු සිය ශිල්ප හැදෑරීමේ චාරිකාව ආරම්භකර ඇත.

පුංචි සිරිල්ට ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ වැඩි අවබෝධයක් ලබාදීම අවශ්‍යයැයි සිතූ සිරිල්ගේ පියා පසුව ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් මිෂනාරි පාසලට ඇතුළත් කරන්නේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය හැදෑරීමට ය. එහෙත් ඉංග‍්‍රීසි පාසැලකට දැමූ පමණින් සිංහල බස අමතක කරන්නට ඉඩ නොදෙන සිරිල් ගේ මව පුංචි සිරිල් ට නිවසේ දී සිංහල උගන්වනවා ඇත. ඒ පිළිබඳ වරක් සිරිල් පසුකාලීනපුවත් පත් සාකච්ඡුාවක දී මෙසේ පවසා ඇත.
 

‘‘ගෙදරදි අම්මා මට සිංහල භාෂාව ඉගැන්නුවා. වේවැලකුත් අරගෙනයි ඒක කලේ. වැරදුනාම කකුලට ගැහුවා. මේ නිසා මට ඉතා ටික කලෙකින් සිංහල ඉගැන්වීම පවා අප‍්‍රසන්න වුණා. අන්තිමේදි වුණේ පාසලේ සිංහල භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයටත් මට අඩු ලකුණු ලැබුණ එක.’’

නමුත් මේ තත්ත්වය දිගින් දිගට පවතින්නේ නැත. ඒ සිරිල් ගේ ජීවිතයට පියාගේ සෙවනැල්ල අහිමි වීමත් සමඟින් ය. පියාගේ මරණයත් සමඟින් පුංචි සිරිල් ගේ අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බාප්පා කෙනෙකුන්ට ය. හේ සිංහල භාෂා ප‍්‍රබෝධය පිළිබඳ මහ ඉහලින් සැලකූවෙක් ය. ඒ නිසා ම පුංචි සිරිල් ව ක‍්‍රිස්තියානි අධ්‍යාපනයෙන් මුදවා සිංහල අධ්‍යාපනයට යොමුකරන ඔහු මෙතෙක් සිරිල් ගිය මිෂනාරි පාසලෙන් අස්කරවා ඔහු වැල්ලවත්තේ ශ‍්‍රී වෛශාඛ විද්‍යාලයට ඇතුල් කරයි. එපමණක් නොව පුංචි සිරිල්ට යළිත් සිංහල භාෂාව පිළිබඳ ආශාවන් ජනිත වන්නේ ඔහුගේ මෙම බාප්පාගේ ඇසුර නිසා ය. එකළ සිරිල්ගේ බාප්පා මුණ ගැසෙන්නය කුමාරතුංග මුනිදාසයන්, ඩබ්ලිව්. ඒ. සිල්වා, ජයන්ත වීරසේකර ආදීන් පැමිණි අතර ඔවුන් ගේ ප‍්‍රිය සාද කතාබහ කන වැකීම සමඟින් පුංචි සිරිල් සිංහල පත පොත කියැවීමේ රුචිකත්වයෙන් පෙළෙන්නට වෙයි. ඒ අනුව ඔහු අසීමාන්තික ලෙසින් සිංහල පත පොත පරිශීලනයට පෙළඹෙයි. නමුත් ඉඩම් ආරවුලක් හේතුවෙන් පුංචි සිරිල්ගේ බාප්පා හා අම්මා විරසක වීමත් සමඟින් අම්මා විසින් සිරිල්ව පාසැලින් අස්කරවා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුළත් කරවයි. මේ අනුව එවක පටන් දිගින් දිගටම ආනන්ද ශාස්ත‍්‍රාලය තුළදී ද සිංහල හා ඉංග‍්‍රීසි යන ද්වී භාෂා පරිචය ලබන සිරිල් ක‍්‍රමයෙන් මෝරා වැඩිහිටි සිසුවෙක් බවට පත්වන අවධිය වන විට සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් හා සාහිත්‍ය නිර්මාණ සිදුකිරීමේ ආශාවකින් පසුවන්නෙක් බවට පත්වෙයි. උසස් පෙළ අධ්‍යාපනය ලබන අවධියේ දී මේ තරුණයා වරින් වර කෙටිකතා රචනා කර සිළුමිණ පුවත්පතට යවන නමුත් ඒ එකක්වත් පළ වන්නේ නැත. හේමපාල මුනිදාසයන් විසින් ‘‘සිංහල බලය’’ නමින් සති අන්ත පුවත්පතක් ආරම්භ කරන්නේ මේ අවධියේ දී ය. තරුණ සිරිල් වරක් තමා ලියූ කෙටිකතාවක් ද ගෙන හේමපාල මුනිදාස මහතා මුණ ගැසෙන්නට යන්නේ ඔය අතරවාරයේ ය. මුනිදාස මහතාගේ නිහතමානී කම නිසාවෙන් ම මේ තරුණයාගේ කෙටිකතාව ඒ මොහොතේම කියවා සුලූ සුලූ වැරදි අඩුපාඩු කිහිපයද පෙන්වා ඒවා නිවැරදි කරවා මේ සුමානෙ බැරිවෙයි ලබන සුමානෙ මේක පල කරන්නම් යැයි පවසා ඇත. ඔහු පැවැසූ පරිදිම සිරිල්ගේ නිර්මාණය ඒ සතියේ පත්තරයේ පලව ඇත. ඉන් පසුව දිගින් දිගටම සිරිල් විසින් මෙම පුවත්පතට යැවූ කෙටිකතා පසුව දිගින් දිගටම පලව ඇත. ඒ සිරිල්ගේ නිර්මාණ මුල්ම වරට මුද්‍රණයක් හරහා එළිදුටුව අවස්ථාවයි.

පසු කාලීනව අවුරුදු විසිහතේ දී පමණ තෝල්ස්තෝයි ගේ කෙටිකතා කිහිපයක් සිංහලයට පරිවර්ථනය කරන තරුණ සිරිල් ඒ කෙටිකතා ද රැුගෙන කොළඹ එම්.ඞී. ගුණසේන සමාගමට පැමිණෙන්නේ පොතක් ලෙස පලකිරීමේ අවශ්‍යතාවයත් සමඟින් ය. නමුත් එම ස්ථානයේ ඒ මොහොතේ සිටින්නේ ගුණසේන මහතා නොව ඔහුගේ ඥාතියෙකි. වැඩ බලන ලද එකී පුද්ගලයා සිරිල්ගේ පොත මුද්‍රණය කිරීම ප‍්‍රතික්ෂේප කරයි. එයින් අධෛර්යමත් නොවන සිරිල් එම කෙටිකතා පෙළ සිය මිතුරෙක්ගේ පුද්ගලික උපකාරය මත වෙළුම් දෙකකින් යුතුව පසුකාලීනව මුද්‍රණයේ යෙදෙයි. ඒ සිරිල් සි පෙරේරා නමින් පසුකලෙක සමස්ථ රට වැසියාම හොඳින් හඳුනාගනු ලබන පරිවර්ථකයාගේ මුල්ම පරිවර්ථන ආගමනයයි. එතැනින් පසුව ජීවිතයේ සැඳඋ සමයට එළඹෙන තුරු ඔහු විසින් විශ්ව සාහිත්‍යයේ අප‍්‍රමාණ කෘති සම්භාරයක් සිංහලයට පරිවර්ථනය කර ඇත. මෙරට දේශීය පාඨකයාගේ දැනුම වර්ධනය කිරීම උදෙසා එම පරිවර්ථන විශාල වශයෙන් මැදිහත් වී ඇත. එය මතු පරපුරට ද එකසේ ම වැදගත් වනු ඇත.

ඔහු විසින් තෝල්ස්තෝයි, දොස්තයොව්ස්කි, ගුස්ටාච් ෆ්ලෝබෙයා, ආතර් සී. ක්ලාක්, චාල්ස් ඩිකන්ස්, ගොගොල්, හෙමිංවේ, මෝපසාං, ෂොලොහොව්, ජැක් ෂෙපර්, බෲනෝ ආපිට්ස්, චිනුවා අචෙබෙ, පුශ්කිං, ගෝර්කි, ඕ හෙන්රි, සාත්‍රේ ආදී ලෝක සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍යධරයන්ගේ කෘති පරිවර්ථනය කර ඇත. ඒ පරිවර්ථන කෘතින් යුද්ධය හා සාමය, පේමතෝ ජායතී සෝකෝ, කරමසෝ සහෝදරයෝ, එමා බොවාරි, මහල්ලා සහ මුහුද, නත්තල් ගීතය, මළ මිනිස්සු, පෙරළුෑ නැවුම් පස, වෘක්කයන් අතර නග්නව, චිකිගේ පාසැල් සමය, නිර්මාණය හා ශෝකය, පිස්සෙකුගේ දිනපොත. ඉස්කෝප්ප පොරොව, මලක සුවඳ, මකරාක්ෂ, වැන්දඹුව ආදී ලෙසින් නම් ලබා ලාංකේය පාඨක ජනයාට විඳින්නට අවස්ථාව උදාව ඇත. මේ උක්තයේ දැක්වූ කෘති නාමාවලිය හෝ ලේඛක නාමාවලිය සිරිල් සී පෙරේරාවන් ගේ සියලූම කෘති නොවන අතර ඔහු අති විශාල කෘති සම්බාරයක් පරිවර්ථනය කර ඇත. 





ඒ පරිවර්ථන කාර්යයන් වෙනුවෙන් සහ ලාංකේය සාහිත්‍යයට ඔහු විසින් කරන ලද සුවිසල් මෙහෙවර හේතුවෙන් සම්මාන රාශියකින් ද වරින වර ඔහු පිදුම් ලබා ඇත. ඒවා අතර 1995 වසරේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මකරාක්ෂයාට හොඳම පරිවර්තනයට හිමි සම්මානය, 1991 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් දුන් ‘වින්දන ප‍්‍රසාද ප‍්‍රණාම’ සම්මානය, 1993 වසරේදී මතවාද ලේඛක සංගමය විසින් දුන් සම්මානය,1998 වසරේදී 75 වෙනි උපන් දිනය වෙනුවෙන් ලේඛකයන් විසින් පිළිගැන්වූ ‘පහනින් පහන’ සම්මානය, 1999 වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් දුන් 50 වසක සේවයට දුන් සම්මානය, 2003 වසරේදී සමාජාවාදී කලා සංගමය විසින් දුන් සම්මානය, 2003 වසරේදී ‘රාජ්‍ය සාහිත්‍ය’ සම්මානය, 2003 වසරේදී ගොඩගේ සම්මානය, 2004 වසරේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව දුන් ‘ගුරුළු ගෝමි’ සම්මානය, 2004 වසරේදී යලිත් සංස්කෘතික දෙපාර්තමේන්තුව දුන් ‘දේශ නේතෘ’ සම්මානය, 2004 වසරේදී යලිත් ශ‍්‍රී ලංකා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වැන්දඹුවෝට ලැබුණු සම්මානය, 2005 වසරේදී රුසියානු සංස්කෘතික කේන්ද්‍රය විසින් දුන් ‘තෝල්ස්තෝයි’ සම්මානය, 2005 වසරේදී ගොඩගේ විශිෂ්ඨතම සාහිත්‍යවේදී ගෞරව සම්මානය, 2005 වසරේ දී ‘සුරස’ සාහිත්‍යවේදී සම්මානය, 2006 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිදෙන උසස්ම සම්මානය වන ‘සාහිත්‍ය රත්න’ සම්මානය, 2009 වසරේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සාහිත්‍ය සම්මානය,2009 වසරේදී වැඩ කරන ජනතා උපහාර සම්මානය, 2016 වසරේදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශය මගින් පිරිනැමූ ‘විද්‍යෝද්‍යාභිමානී’ සම්මානය වෙති.




මේ සියල්ලටමත් වඩා වැදගත්ම සම්මානය නම් සමස්ථ ලක් ධරණී තලයේ වෙසෙන සුවහසක් සාහිත රසකාමී පාඨක ජනයාගේ හදමැද සැබැවින් ම ඔහු කිරුළු පලන් සාහිත වේදියෙක් වීමයි. වෘත්තියෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් ශිල්පියෙක් ලෙසින් කටයුතු කළ ද ඔහු දිවි සැරිය ගෙවූ වසර 93ක කාලය පුරාවට ඔහු විසින් සිදුකළ සාහිත්‍ය කටයුතු හේතුවෙන් ඔහු අමරණීය චරිතයක් වනවා නො අනුමානය. සම්මාන පසුපසින් හඹා නොගිය මෙතුමා සදාකාලිකවම ජනතා සම්මානයෙන් පුද ලැබ ජන හදවත්වල අමරණීය චරිතයක් ලෙසින් වෙසෙන බව නම් පැහැදිලි සත්‍යකි.


සටහන - නිර්ණාමිකයා

No comments: