Thursday, November 24, 2016

වෙදැදුරු සිහිනය බිඳී බිහිවූ සිත්තරා



වලිමුනි සිරිනෝරිස් මැන්දිස් මහතා වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. එතුමා වාසය කළ මහවැව මාදම්පේ ග‍්‍රාමයේ පමණක් නොව එතුමාගේ කිත් යසස පුත්තලම දිස්ත‍්‍රික්කය පුරාත් ඉනික්බේ එතනින් එපිට වයඹ පළාත පුරාත් දනන් තුඩ තුඩ රැුව් දී ඇත. නිස්සංක සිරෝ මැන්දිස් මැතිණියටත් මේ වලිමුනි සිරිනෝරිස් මැතිඳුන්ටත් දාව දරුවන් අට දෙනෙකි. ඒ අතරින් එක් දරුවෙක් වූ සෝලියස් නම් දරුවා උත්පත්තිය ලබන්නේ 1896 ජූනි 17 වෙනිදා ය.

පියගේත් මවගේත් බලාපොරොත්තුව වූයේ පුංචි සෝලිස් දිනෙක ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයේ කෙළපැමිණි වෙදැදුරෙක් බවට පත් කිරීමය. එහෙත් අනෙක් දරුවන් මෙන් නොව සෝලියස් ප‍්‍රිය කළේ සිතුවම් කලාවට ය. කුඩා අවදියේ පන්සල සමඟින් අප‍්‍රමාණික සමීප බැඳියාවක් සකසා ගත් මේ කුඩා සෝලියස් බාල වයසදීම සහජයෙන් උරුමකර ගත් සිතුවම් ඇඳීම ක‍්‍රමයෙන් වර්ධනය කරන්නට වෙහෙසෙයි. පන්සල හා ස්වභාව ස්වභාව දහමට සෝලියස් සතුව පැවැති ආසක්ත බව හා බැඳීම නිසාම මනා හික්මීමක් ඇති නිවුණු ශාන්ත චරිතයක් ලෙසින් ක‍්‍රමයෙන් මේ කුඩා දරුවා වැඞී වර්ධනය වෙන්නේ මේ අතරවාරයේ ය. ඔහු විඳින ලද මෙම නිස්කලංක වට පිටාව ම ඔහුට ආවේනික ශෛලියක් ගොඩනගා දෙන්නට සමත්ව ඇත.

කුඩා සෝලියස් මුලින්ම සිතුවම් කරණය පිළිබඳ හැදෑරීම අරඹන්නේ ද ඔහු සතුව පැවැති මෙම අසීමිත ආශාව හා ඇල්ම නිසාය. ඒ වරක් මාරවිල සුමන කුසුමාරයේ සිතුවම් අඳින දෙස මොහු ආශාවෙන් බලා සිටින අයුරු දුටු එහි විහාරාධිපති හිමියන් සිතුවම් කරණය පිළිබඳ සෝලියස් ගේ ඇති ඇල්ම අවබෝධකරගෙන ඔහු එවක පන්සලේ සිතුවම් ඇඳි සිත්තරාට භාරදීමත් හේතුවෙන් ය. ඒ සමඟින් පන්සල් චිත‍්‍රකරණයට ප‍්‍රවිශ්ඨ වෙන මොහු පසුකාලීනව තමන් ව්‍යුත්පත්තියෙන් ලැබූ ඥානය මෙන්ම මුල්කාලයේ පටන් තමන්ටම කියා පවත්වාගෙන පැමිණි ස්වාධින ශෛලියත් භාවිත කරමින් වෙනස් වූ මගක යමින් 1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරයේ ත් 1915 දී රණස්ගල්ල විහාරයේ ත් 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේ ත් පොළොන්නරුවේ ශ‍්‍රී ජයබා විහාරයේ ත් උඩුබද්දාව ටැම්පිට විහාරයේ ත් මල්වාන ලෙනගම්පල විහාරයේ ත් ඇතුළුව විහාර රැුසක සිතුවම් නිර්මාණය කරණු ලැබ ඇත. ඒ සෑම සිතුවමකම ඇති ඔහුගේ අනන්‍යතා සලකුණ හේතුවෙන් ඒ විහාර සිතුවම් මෙතෙක් ලංකාවේ බිහිවූ බොහෝ පන්සල්වල ඇති සිතුවම් වලට වඩා වෙනස් ආරක් ගෙන ඇත.
හෙලේනා විජයවර්ධන මැතිනිය කැළනි විහාරය ප‍්‍රතිසංස්කරණය කරමින් එහි සිතුවම් නිර්මාණය කරන්නට දක්ෂ සිතුවම් ශිල්පියෙක් සොයන්නේ මේ අතර වාරයේ ය. සෝලියස් ගේ සිතුවම් වල ඇති වෙනස් හා විශිෂ්ට බව නිසාම ඉතා ඉක්මනින් ම ඇයට ඔහු පිළිබඳ ආරංචි වන අතර පසුව ඇගේ අනුග‍්‍රහයෙන් ඉන්දියාවේ අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් නැරැුඹීමට සහ ඒවායේ ලක්ෂණ හඳුනා ගැනීමටත් සෝලියස් ඉංදියාවට යවා ඇත.

ඉන්පසුව 1930 සිට 1948 දක්වා වසර 18ක කාලයක් ඔහු කැලණි විහාරයේ බිතු සිතුවම් කරණයේ යෙදී ඇත. මෙතුමාගේ සිතුවම් කරණයේ පැවැති සුවිශේෂී ම ලක්ෂණය නම් දෑසට සෞම්‍යක් ගෙන දෙන වර්ණ භාවිත කිරීමයි. විශේෂයෙන් ම එවැනි වර්ණ නිර්මාණය කර ගන්නට ඔහු භාවිතා කරන ලද අමුද්‍රව්‍ය ද අනෙක් සිත්තරුන් ගේ භාවිතාවන්ට වඩා වෙනස් ය. විවිධ පස් වර්ග, මකුළු මැටි, ගස්වල කොළ පොතු පමණක් නොව බිත්තර සාරු ආදිය ද ඔහුගේ අමුද්‍රව්‍ය අතර විය. ඔහුගේ කිසිදු සිතුවමක කිසිදු රේඛාවක් මෝස්තරයක් අනවශ්‍ය යැයි කියා නොසිතෙන ලෙසින් ඔහු ඒ සියල්ල සිතුවමට බද්ධ කර ඇත. විශේෂයෙන් ම අනෙක් ශිල්පීන් මෙන් නොව මොහුගේ සෑම සිතුවමක් ම චිත‍්‍රකරණය පිළිබඳ හදාරන්නවුන් ට අද ද තක්සලාවක් තරමට ම සිතුවම් කරණය පිළිබඳ නව පාඩම් රැුසක් අවබෝධකර දෙනු ලැබෙයි. 






එහෙත් ලොව බොහෝමයක් සිත්තරුන්ගේ ජීවිතයේ ශෝකාන්තයක් හමුවෙනවා මෙන්ම සෝලියස් සිත්තරා ගේ ජීවිතයේ ද විසල් ශෝකාන්තයක් හමුවෙයි. කැළනි විහාරගෙයි එක් සිතුවමක් ඇඳීම පිලිබඳ බලාපොරොත්තු දල්වාගෙන උන්නද ඒ විසල් සිතුවම සෝලියස්ට භාර නොදී විදේශිකයෙක් ලවා අන්දවනු ලැබූ බැවින් පින්සල් කඩා කැළනි ගඟට විසිකර පන්සලෙන් ආ සෝලියස් සිතුවම් කරණය ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ ඔහුගේ සිත රිදුම හේතුවෙන් ය.

ජීවිත කාලයම තනිකඩව ගත කළ මේ අප‍්‍රමාණ සිත්තරා පිනට දහමට ලැදි බව විෂද කෙරෙන කරුණු කාරණා දෙකක් පිළිබඳව ද අදත් ගෞරවයෙන් සැළකිය හැකිය. එකක් නම් ඔහු කිසිදු දිනෙක සිය සිතුවම් සඳහා පාට හෝ බදාම සකසා ගැනීමට භාවිත කරන ලද බිත්තර සාරු බිඳින ලද බිත්තරවලින් නොගැනීමයි. ඒ සඳහා ඔහු සැමවිටම භාවිත කර තිබුණේ බිඳුණු බිත්තර සාරු ය. අනෙක් අතට ඔහු සතුව තිබූ මාදම්පේ ඉඩම අඳ ගොලූබිහිරි පාසලක් පවත්වාගෙන යෑමට ඔහු පරිත්‍යාග කරන්නට තරම් නොමසුරු ගුණවතෙක් විය.





පින්සලත් පරාර්ථයත් උදෙසා සිය දිවියම කැප කල මේ උත්තුංග කලා ශිල්පියා 1975 සැප්තැම්බර් 01 දා දිනයක සදහටම දැයෙන් සමුගනු ලැබීය






සටහන - නිර්ණාමිකයා

No comments: